Thursday 15 June 2023

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින




අපමණ වේදනා මැද මව්කුස තුළින  

ලොව දුටු ඇය ද හෙට දින මතු මවක් වන

හිරිමල් සිනා මවමින් ලොව බබළවන

දියණිය ඇයයි නිවසට සිරිදුව ගෙනෙන


පුලින තලා මත එහෙ මෙහෙ දුව පනිමින්

කියන කතා පිරි හසරැලි මුවඟ තුළින්

කෙළිළොල් ගතිය පෙන්වයි ඇය මෘදු වදනින්

ළමාවියේ සේයා මේ ලෙස මවමින්


සුකුමළ රුවයි දුටුවන් නෙත බඳින්නේ

සියුමැළි වදන් ඇසුවන් සිත සනසන්නේ

මල්වර නැකත ළග ළගමයි පවසන්නේ

කුසුම් පිපී යෞවන විය එළඹෙන්නේ


ප්‍රේමයෙ හැඟුම් ඇගෙ සිත තුළ මවමින්

රන් අභරණින් සැරසී සුදු සළුව මතින්

මංගල දිනට සැරසෙයි ඇය කුමරි ලෙසින්

මෙහෙවර කරයි හෙට දින දරුවන් ලබමින්


අහස තරම් කඳළැලි වැසි වස්සවන

මහ සමුදුර තරම් රුධිරය වගුරුවන

ඒ හැම දුක ම මහ පොළොවක් සේ දරන

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින


කව්‍යාංජලී ✍️❤️ 




17 comments:

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින

අපමණ වේදනා මැද මව්කුස තුළින     ලොව දුටු ඇය ද හෙට දින මතු මවක් වන හිරිමල් සිනා මවමින් ලොව බබළවන දියණිය ඇයයි නිවසට සිරිදුව ගෙනෙන පුලින තලා මත...