Thursday 15 June 2023

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින




අපමණ වේදනා මැද මව්කුස තුළින  

ලොව දුටු ඇය ද හෙට දින මතු මවක් වන

හිරිමල් සිනා මවමින් ලොව බබළවන

දියණිය ඇයයි නිවසට සිරිදුව ගෙනෙන


පුලින තලා මත එහෙ මෙහෙ දුව පනිමින්

කියන කතා පිරි හසරැලි මුවඟ තුළින්

කෙළිළොල් ගතිය පෙන්වයි ඇය මෘදු වදනින්

ළමාවියේ සේයා මේ ලෙස මවමින්


සුකුමළ රුවයි දුටුවන් නෙත බඳින්නේ

සියුමැළි වදන් ඇසුවන් සිත සනසන්නේ

මල්වර නැකත ළග ළගමයි පවසන්නේ

කුසුම් පිපී යෞවන විය එළඹෙන්නේ


ප්‍රේමයෙ හැඟුම් ඇගෙ සිත තුළ මවමින්

රන් අභරණින් සැරසී සුදු සළුව මතින්

මංගල දිනට සැරසෙයි ඇය කුමරි ලෙසින්

මෙහෙවර කරයි හෙට දින දරුවන් ලබමින්


අහස තරම් කඳළැලි වැසි වස්සවන

මහ සමුදුර තරම් රුධිරය වගුරුවන

ඒ හැම දුක ම මහ පොළොවක් සේ දරන

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින


කව්‍යාංජලී ✍️❤️ 




Monday 12 June 2023

මනමේ මමයි නුඹේ හදවතින් පෙම් කෙරුව

 


ඔබ නමින් මගෙ හදේ ප්‍රේම ගී ලියවුණා

මගෙ ප්‍රේම හී සරය ඔබ වෙතට පුදකළා

ඒ ප්‍රේම හී සරින් නුඹ මමත් යා වුණා

ස්නේහ මල් වැසි මැදින් අපි අපිට ළං වුණා


පෙම් තෙපුල් මෘදු වදන් සිනා ගඟ කිමිදිලා

ආල විල් තෙරේ අපි පෙම් සුවය මිමිණුවා

නුඹගේ මගේ පෙමට අසිරි සිත් දෙන නියා

අහස් කුස සරා සඳ එළිය දී හැඩ කළා


මල්වැසි මැදින් ගැලූ අප ආල අන්දරය

වැදි රජෙකුගේ සැහැසි අනෝරා වැස්සකට

හසුව සුණු විසිණු වී දෙදරාවිදෝ බයට

ධනුද්දර මා ඉතින් සැරහුණා ශිල්පයට


ඔබ නමින් පෙම් සටන් මා  හදින් ඉටු කළා

නමුදු හැඩි දැඩි සිරුර ඔබ සිත වශී කළා

කඩුව මා වෙතට නොව ඔහු වෙතට පුද කළා

ධනුදරෙකු වූ මගේ පෙම් සරය වැරදුණා


නුඹේ එක බැල්මටත් පවා නිති මන බැඳුණ

දිවි ගමනේ නුඹ මගේ පතිනිය ලෙසින් සිතුව

පිටුපා ගියත් මෙමට හැම භවේ නුඹ පතන

මනමේ මමයි නුඹේ හදවතින් පෙම් කෙරුව


කව්‍යාංජලී ✍️❤️














Sunday 11 June 2023

කන්ද උඩරට නුඹයි ස්නේහ නඟරය අපට



වැව රවුම සිසාරා හමා යන මඳ පවන

එක්ක මුසු වී නැගේ රොබරෝසි මල් සුවඳ

හීන් හීතල එක්ක වැටෙන විට පොද වැස්ස

පොපියවයි පෙම් හැඟුම් මගේ හිත කිති කවන


හන්තාන කඳු මුදුන වටේ පිරි සිරියයි

මහවැලිය දෙපස මැද ගැටඹෙ බෝ සමිඳුයි 

තේජසින් නෙත් වැකෙන උතුම් දළදා මැදුරයි

දළදාවේ තේවාව ඇසෙන මහනුවරයි


අත්  පටලා නුඹ මමත් මේ මගේ ගිය තරම්

පෙම් හීන සිත් දරන් අපි ආලේ කළ තරම්

පොද වැස්සේ සීතලට තුරුලු වී සිටි තරම් 

තව දන්නේ වෙන කවුද මහනුවර නුඹ තරම්


පෙම් පිරුණු සොඳුරු සිත් එකට එක යා කරන

පෙම් හැඟුම් මෝදුවන හැඟුම් නිති අවුස්සන

දස දහස් පෙම්වතුන්ගේ රහස් නිති දන්න

කන්ද උඩරට නුඹයි ස්නේහ නඟරය අපට


කව්‍යාංජලී ✍️❤️ 



Saturday 10 June 2023

සෙනෙහසින් පිරුණු සිත් ඇත්තෙක් ව බබලන්න



තවකෙකුගෙ සිනාවට නිබද හේතුව සදන

දයාබරකම් පාන සිත් ඇත්තවුන් වන්න

නැණින් පමණක් නොවී ගුණෙන් අගතැන් වන්න

එක් දිනක් කුමකට ද මනුදමින් සපිරෙන්න


වන සතුන් වැනි දනන් අතර දෙවියෙකු ලෙසින

සුපිපෙන්න නිබද ඔබ කරුණාව වපුරවන

රුදුරු ගති පසෙකලා සොඳුරු ගති පුබුදුවන

සොඳුරු මිනිසෙකු වන්න අන් අය ද තුටු කරන


තම සුවය පමණකැයි සිතා අන් අය නසන

දුදන මිනිසුන් අතර සුමුදු කුසුමක් වන්න

කරුණාව පිරී ගිය සිතින් ආසිරි පතන

සොඳුරු එක් වදනකට හැකිය සිත් සනසන්න


කරුණා දයා ගුණය පිරිහී යමින් තිබෙන

විෂම වූ ලෝකයක් දෙසට මෙත් සිත් යොමන

මිනිස්කම නම් සුවඳ දසත නිති පතුරුවන

සෙනෙහසින් පිරුණු සිත් ඇත්තෙක් ව බබලන්න


  කව්‍යාංජලී ✍️❤️ 

Tuesday 6 June 2023

වැස්ස

 


වැටෙන්නට පෙරාතුව

හීන් හිරිපොද 

හමන නැවුම් සුවඳ මෙන්

ඔබත් වන්න නැවුම් සුවඳක්

තවත් සිතකට සතුට කැන්දන


ගතසිත පුබුදුවමින්

වැටෙන හීන් පිනිපොද මෙන්

ඔබත් වන්න පිනිබිඳුවක් 

තවත් අයෙකුට සතුට කැන්දන


බිඳුණු හැඟුමන් අවුස්සන

නවමු හැඟුමන් පුබුදුවන

වැස්ස මෙන්

ඔබත් වන්න වැස්සක්

තවත් සිතකට සතුට කැන්දන


දිවි අහිමි කරමින්

ගලන රුදුරු වරුසාව මෙන්

එපා වන්නට මුරුගසන් වැස්සක්

තවත් සිතකට දුකක් කැන්දන


        කව්‍යාංජලී ✍️❤️

          

Monday 5 June 2023

ක්‍රිෂ්ණාගෙන් රාධාට

                            




සුපුෂ්පිත මල්දමින් පිරුණු වෘන්දා                    වනේ

කිමද අද මේ ලෙසින් වෙලා මුකුලිත                 අනේ

සවන් නිති සැනස වූ විහඟ කැළ ඔබ            කොහේ

කොහෙද මගෙ සරා සඳ නුඹෙ සිනා         සැඟවුණේ


හද සැනසු නුඹෙ තෙපුල් ගොලු වී ගොසින්           මන්ද 

අනුරාග නෙත් වලින් කියූ පෙම් ගී                      කොහි ද

සිහින් ඉඟ නළවමින් රැගි රැගුම් අද                       නැද්ද

කොහෙද මගෙ සඳවතිය                        අමනාපවීවත් ද


ඔබෙ පෙම් තෙපුල්වලට මා ආලේ කළ               තරම්

තව දන්නේ වෙන කවුද වෘන්දා වනේ                  තරම්

මාගේ ප්‍රියාධරිය රාධාවණිය                                  තරම්

දැනුණේ නෑ මගෙ සිතට අනෙක් ගෝපී                ළඳුන්


වස්දඩුව රැගෙන මම ප්‍රේම ගී                        වයන්නම්

එහි සප්ත ස්වරවලට ආලේ මුසු                   කරන්නම්

ඒ ප්‍රේම ස්වර දිගේ ඔබ එතී                         ඇදෙත්නම්

මහද ප්‍රේමයේ තනුව ඔබ වෙත ම                  පුදන්නම්


කව්‍යාංජලී ✍️❤️







Saturday 27 May 2023

කුණ්ඩලකේෂිය සමාවෙයන් මට



 සැවිටි පහරින් තැළුම් කන විට

 සදළු තල සිට එබී බැලු නුඹ

 උපන් ආලයේ නමින් ඔබ මට

 වරම් දුන්නා දිවිය ගෙවනට


 බැලූ බැලුවන් වශී කරවන 

 රුවින් අගතැන් කුමරියකි ඔබ

 ඔබේ ආලය මට ම දෙන්නට

 සිතුණි කෙළෙසද නොවැටහේ මට


 රුදුරු වෙස්ගත් සොරෙකු වූ මට

 නුඹේ ස්නේහය වැටහුණේ නැත

 නමුත් නුඹ මට සිටු මැදුර තුළ

 සුවය දුන්නා පතිනියක ලෙස

  

 ප්‍රේම සිතුවිලි වලට වැඩියෙන්

 මෝදු වුණෙ මගේ රුදුරු හැඟුමන්

 ආලේ පසකට තබා එබැවින්

 නුඹ නසන්නට සිතුවා නිතැතින්

 

 මගේ සොරසිත නිසාවෙන් මට

 ඔබේ නිකැළැල් ප්‍රේමේ අභියස

 නොහැකි වුණි මට ආලෙ විදිනට

 කුණ්ඩලකේශිය සමාවෙයන් මට

   

  කව්‍යාංජලී ✍️❤️

ගැහැණිය නොවෙද වස්තුව මිහිපිට සිටින

අපමණ වේදනා මැද මව්කුස තුළින     ලොව දුටු ඇය ද හෙට දින මතු මවක් වන හිරිමල් සිනා මවමින් ලොව බබළවන දියණිය ඇයයි නිවසට සිරිදුව ගෙනෙන පුලින තලා මත...